හෙණ ගැසීම
පසු ගිය බදාදාව පුදුමාකාර අසුබ දවසකි෴
ගණං පන්තිය තිබුණේ සවස තුනේ සිට පහ වන තෙක්ය. එහෙත් හතර හමාරේ සිට ඇද වැටුණු ගිගුරුම් සහිත ධාරානිපාත වර්ෂා රාජයා නිසා පන්තියේ ගුරුතුමා කියන දේ පවා නෑසිණි. එම නිසා පන්තියද කලින් නවත්වන්නට සිදුවුණි. එහෙත් අපට යන්නට දුන්නේ පහ වූ පසුය :(
එසේ එලියට බැසගත් විට මුහුණ දුන්නේ තවත් ගැටළුවකටය - අපට කුඩ තිබුණේ නැත :O
එබැවින් අම්බානකට නාගෙන බස් නැවතුමට ආවෙමු. තවත් මළ කෙළියකි, බස් නැවතුම ජලයෙන් යටවී ඇත. එතන බස් නවත්තන්නට නොව නැව් නවත්තන්නට සුදුසු බව අපට පෙනුණු බැවින් ඊළඟ නැවතුම කරා පයින් යාමට ඉටා ගතිමු.
එසේ ඇවිදිද්දී තව ගැටළුවකි, පාර දෙපැත්ත කුඩා ඇළ මාර්ග දෙකක් වැනිය. කොයි වෙලේ හෝ "අලි නාවන තඩි වලකට" වැටේවිදෝ තිබූ බිය නිසා පාර මැද ඇති කොන්ක්‍රීට් වේදිකාව දිගේ ආවෙමු. එහෙත් බස් එන පාටක් නැත, බත්තරමුල්ල හන්‍දියෙත් වතුර දාල නිසා වෙන්න ඇති කියල හිතුණු නිසා, ඊළඟ නැවතුම් හතරද පයින්ම යාමට තීරණය කළෙමු.
අකුණු ගහන මහ වැස්සේ පාර මැද "පේමන්ට්" එකේ තෙමි තෙමී තලවතුගොඩට ආ විට දක්නට ලැබුණේ තලවතුගොඩ හන්‍දියද, වතුරෙන් යටවී ඇති බවයි. එතනද දිග වාහන පෝලිමක් හිරවී තිබිණි. කෙසේ හෝ තලවතුගොඩ හන්‍දියේ සිට ගෙදරට ඇති කිලෝමීටරයක පමණ දුරද, පයටම වාරු දී පැමිණි පසු හිතට දැනුණේ මාර "ජොලියකි"; හැමදාම මෙහෙම වැස්සෙ තෙමෙන්න ලැබෙන්නෙත් නැහැනෙ.
තවම කතාවේ දුක උච්ඡතම අවස්ථාව උදා වූයේ නැත. එය උදා වනුයේ රෑ බෝවී, අකුණු අවසන් වූ පසු පරිගණකය ක්‍රියාත්මක කළ විටය. වැඩ නැත! බලද්දී දුරකතන රැහැන ඔස්සේ පැමිණි අකුණු සැරයක් නිසා රවුටරය "පිච්චී" ඇත. සෙළවූ විට ඇතුලේ කෑලි හෙළවෙන හඬද, ඇසුණි :P
මගේ පරිගණකයේ ජාලකරණ(නෙට්ව'ක් කාඩ්) එකක් තිබුණු නිසා එය පමණක් පිච්චී, මවුපුවරුව(මද'බෝඩ් එක) බේරී තිබුණි. නමුත් මල්ලිගේ තිබුණේ පුවරුගත(ඔන්බෝඩ්) ජාලකරණ ද්වාරය(නෙට්ව්'ක් පෝට් එක)ක් නිසා එයද, පිච්චී ඇත. සතියක් පමණ ගතවී නැවත රවුටරයක් හා ජාලකරණ(නෙට්ව'ක්) කාඩ් එකක් ගත්තද, මවුපුවරුව(මද'බෝඩ් එක) තවම ගත්තේ නැත. එබැවින් සතියක් අන්තර්ජාලය නොමැතිව සිටියා මදිවට, දවසින් බාගයක් පමණක් පරිගණකය ළඟ ගත කරන්නටද, මට සිදු වී ඇත.
හෙණයක් නිසා වුණු හෙණයක්!!




4 අදහස්:
මල්ලී, ඔබ ඉතා හොඳින් රචනා කරනවා. කුඩා කාලේ සිටන්ම සිංහලෙන් බ්ලොග් ලිවීම ප්රශන්සනීයයි.
දිගු ගමනකට ආසිරි!
ඒක තමයි, මේ දවස්වල හෙණ ගහන හැටියට ගොඩක් පරිස්සම් වෙන්න ඕන. ගොඩක් අයගෙන් අහන්න ලැබෙනවා හෙණ ගහලා උපකරණ පිච්චුණු කතන්දර ගොඩක්. ඒ නිසා පරිස්සම් වෙන එකයි හොඳම වැඩේ :)
බොහෝම ස්තූතියි :)
අනාගතයේදීත් මගේ වියුණ කියවාවියැයි බලාපොරොත්තු වෙනව෴
I'm very sorry to put comments in this way, still i couldn't fix scim.Rajith beware of lightning!i think that happened as u had a bath after months! :)
Post a Comment