Tuesday, May 13, 2008

වහරනුසෙරෙන් සපයා - පසු වදනක්

සපයනුයේ කවර වහර අනුසෙරෙන්‍ ද? නිවැරදි වීම උදෙසාම විද්වත් වහර ගුරු කර ගතිමි. එනිසාම මෙය විද්වත් වහරින් ගත් උපුටන සහිතව ලියමි. විද්වත් මතය නම් සිංහළ භාෂාව ඇතුළුව බොහෝ භාෂා වල වදන් ගත් කල්හි, ඒවා ප්‍රකෘතිය අනුව ප්‍රභේද තුනකට බෙදිය හැකි බව යි.

සිදත් සඟරාවෙහි දැක්වෙන අයුරු නම්, සිංහළයෙහි වියරණ විදි විස්සකි :-

*2. එ බැවින් සන් සඳ - ලිඟු විබත් සමස් පියෙවි
පස කිරිය ලොප'දෙස් - අගම් පෙර රූ දෙ රූ පෙරැළි

වැඩි අඩු නිපා නියම් - අනියම් අවිදුමන් විදි
වී විසි වැදෑරුම් - වියරණ විදින් සපයා

මින් සය වැන්න පියෙවි යි. එනම් ප්‍රකෘති යි.

*12. පියෙවි දෙ වැදෑරුම් දා පියෙවි සද පියෙවි වී.

*13. පද යොන් දා පියෙවි නම්.

*14. විබතෑනට ඇසිරු සද පියෙවි නම්.

*15. වෙන වෙන දෙක නිපන් - තසම තබවැ යි එ තෙබේ
කිසි අන් බසින් නුමුසු - හෙළ දිවැ පළ නිපන් නම්.

මගද සකු ඈ බණ - සම වූ බස තසම නම්
බිඳුණේ තබව නම් වී - විමසා දනු එහි පියෝ.

*16. රුකුර - නරඹ ඈ නිපන් දා පියෙවි නම්.

*17. යා - දා - කර ඈ තසම දා පියෙවි නම්.


*18. දන - නැඟි - සමර - තුලුර ඈ තබව දා පියෙවි නම්.

*19. කොළොඹ - කරළු ඈ නිපන් සද පියෙවි නම්.

*20. ගජ - කර - කිරණ ඈ තසම සද පියෙවි නම්.

*21. අත් - රුක් - සමන්බහදුරු - ඇදුරු - කන් - ඇඹුල් ඈ තබව සද පියෙවි නම්.



මේ සිදත් සඟරායෙහි පියෙවි අඳුන්වා දෙන අයුරුයි.

දැන් කුමරතුඟු මුනිදසුන් ගේ හි "ව්යාකරණ විවරණයේ" එතුමා මෙසේ සඳහන් කරයි.

සැලැකිය : ප්‍රකෘතියක් යනු දේශීයද, අනුපාතිත ද, ආනීත ද යනු මහා විශාරදයන් විසින් විනිශ්චය කළ යුත්තෙකි. ඇතැම් විටැ එ බඳු විශාරදයන්ගේ විනිශ්චයය ද වෙනස් කළ යුතු සේ පෙනේ. සියලු ලොවෙහි සියල්ල කවුරු දනිත් ද? එකෙක් එක් ප්රකෘතියක් දේශීය යැයි සිතයි. වෙන භාෂාවෙකැ එයට ආසන්න ප්රකෘතියක් දුටුවෙක් එය ආනීත බව මැ කියා-සිටී. ඒ කියුම් ද තවත් දහසක් කරුණු නො විමසා සැබෑ මැ යැ යි පිළිගත නොහැකි යැ. භාෂා කිහිපයෛකැ සර්වසම වූ හෝ ඒක-දේශ-සම වූ හෝ ප්රකෘති ඇති වීම ස්වභාවානුකූලයි. ඒ ප්රකෘති අතුරින් සමහරක් අතීත භාෂාවෙකින් පැමිණි සේද සිතියැ හැකි යි. පවත්නා එක් බසෙකින් තවත් බසකට පැමිණීම ද, නොහැකි නො වේ. පැරණි බසෙකින් අලුත් බසකට ද යනු නොබැරි යැ. එහෙයින් නුවණට හුරු වනුයේ, නො බිඳියැ හැකි, සැක නො කළ හැකි, සාක්ෂ්ය නැති තන්හි, භාෂාන්තර සාම්යය පමණක් දක්වා නැවතීම යැ.

සිදතෙහි එන "වහර'නුසෙරෙන් සපයා" යන්න ගැනද යමක් සඳහන් කළ යුතුය. මෙය සිදතෙහි පළමු කවියෙහි අවසන් පදයයි.

*1. සද'රුත් විදි සියල් - අනුරූ සේ පියෝනන්
ඉති සන් සඳ සමස් ඈ - වහර'නුසෙරෙන් සපයා

මෙය පැහැදිලි කිරීම සඳහා 1969 පෙබරවාරි 24 දින ශ්රී ලංකාදීප පුවත් පතෙහි වියරණ විනය (මහානාම) ලිපියේ උපුටනයක් දක්වමි.

කෙනෙක් 'සිදත් සඟරාවේ' එන 'වහරනු'සෙරෙන් සපයා' යන්න පමණක් දක්වමින්ම් බසේ වියරණය වහර අනුව සකස් කරගත යුතු යැයි කියති. එහෙහ් 'සිදත් සඟරාවේ' එය සඳහන් වන්නේ 'සද'රුත් විදි සියල් - අනුරූ සේ පියෝනන් - ඉති සන් සඳ සමස් ඈ - වහර'නුසෙරෙන් සපයා' යනුවෙනි. 'සේ පියෝනන්' යනු ඡේක ප්රයෝග හෙවත් උගතුන්ගේ යෙදුම්ය. එබැවින් අනුව යා යුත්තේ උගතුන්ගේ වහර මිස නූගතුන්ගේ වහර නොවන බව පැහැදිලි ය. ලිවීමේදී උගතුන්ගේ යෙදුම් අනුව යා යුත්තේ එය සම්මත වහර බැවිනි. එය ජනවහර යැයි තෝරා දීමට යෑම දිව යට සඟවා ගෙන දෙඩීමට තැතනීම වැනි ක්රියාවෙකි. ජන වහර ඒකාකාර නොවෙයි. ඇතැම් පෙදෙසක වහර තවත් පෙදෙසක වහරට ඉඳුරා වෙනස් ය.

එහි තව දුරටත් මෙසේ ද, සඳහන් වෙයි...

"සිංහල ව්යවහාරයට සම්මතයක් වුවමනා නැත", ඕනෑම කෙනෙකුට තමා සිතන පතන විදියට ලිවීමේ නිදහස තිබිය යුතුයැයි කියමින් ඉහළ පෙළේ සිංහල උගත්තු පිරිසක් අමෝරා ගත් 'මොට්ට' අවි ඇතිව සටන් බිමට පිවිස සිටිති.

මාගේම අදහස් දැන් දක්වමි. වරදක් ඇත්නම් පෙන්වන්න. දොසක් ඇත්නම් කමන්න. තරහ ගන්න නම් එපා.

මාගේ අදහසට අනුව සිංහළ සිප්යුරු වදන් තැනීමේදී තත්සමය පාවාදී ඉංග්රීසි වචනය ඇද දමා අගට "එක" යැයි කීම අශෝභනය. එසේම පරිවර්තන කාර්යයන් සඳහා මෙය යොදා ගැනීම ඊටත් වඩා අශිෂ්ටය. මන්ද, පෙරැළියක් කරනුයේ ඉංග්රීසිය (හෝ වෙනයම් බසක්) නොතේරෙන අයටය. ඒ අයට ඉංග්රීසි වදන ඉදිරියෙන් "එක" දැමූ විට අමුතු ඥානයක් පහළ වේද? නැත. තවද, කුමරතුඟුවන්ගේ අදහස අනුව වදනක් තත්සමද, තත්භවද, නිෂ්පන්නද යන්න තීරණය කිරීම අපහසු කරුණකි. එයින් පැහැදිලි කෙරෙන කරුණක් වන්නේ තත්සම යනු වදන් නිර්මාණය කරන ක්රමයක් නොවන බවයි. තත්සම යනු භාෂා දෙකකම එකම ආකාරයට ඇති වදනක ප්රකෘතිය (මූලය) නිගමනය කරන ආකාරයකි. සිදත් සඟරාවෙහි දී ඇති නිදසුන් අනුව ඊනියා "නවීන තත්සම වදන් සැකසීමේ" අනුවණ කම වැටහෙනු ඇත. හේතුව එහි පියෙවි යටතේ වදන් නිර්මාණය කරන ආකාරය ගැන කිසිඳු දෙයක් නොදැක්වීමයි. කරුණු එබඳුව තිබියදී "සිදත් සඟරාව" හා "තත්සම" යන්න නිදහසට කරුණු වශයෙන් තබාගනිමින් "සිංග්‍රීසි-එක" වදන් තැනිය යුතුද?

තවත් දෙයක් මතක් කිරීමට කැමැත්තෙමි,

අලුත් අලුත් දෑ නො තනන ජාතිය ලොවැ නො නඟී
හිඟා කෑම බැරි වුණු තැන ලගී ගයා මර ගී
ගැමි වහරින් හද පොපියන අරුත් රසය නො හැඟී
මහ දද දන ගණ උපදින කලැ පර දෑ අනැඟී


හිඟා නොකා , අපේම දෑ අගය කරමින්, අලුත් අලුත් දේ තනමින් ඉදිරියට යනවාද? හිඟා කන්න බැරි වන තුරු වෙන භාෂා වලට අත පානවාද?


* සිදත් සඟරාවෙහි කවි අංකය මෙයින් දැක්වේ

ඇසුරු කර ගත් මූලාශ්‍ර :

  1. සිදත් සඟරාව - බළන්ගොඩ ආනන්‍දමෛත්‍රෙය මහ නා හිමි සංස්කරණය - මොඩන් පොත් සමාගම
  2. ව්‍යාකරණ විවරණය - කුමාරතුංග මුනිදාස - ගුණසේන ප්‍රකාශකයෝ
  3. සිංහල භාෂාව - පුවත්-පත් මත වාද - ඒ.ඒ. පියරත්න - එස්. ගොඩගේ සහ සහෝදරයෝ
  4. අරුත නිරුත - අරීසෙන් අහුබුදු - සදීපා පොත්හල
  5. සිංහළ සිප්යුරු වදන් - 1 - වරලත් උවදෙසු ඉංජිනේරු ඊලියන් ද සිල්වා - මොඩන් පොත් සමාගම

0 අදහස්: