සිංහල ද? සිංහළ ද?
බොහෝ කලක සිට විවාදයට තුඩු දුන් කරුණෙකි෴ පන්ති වාර්තා පොතේ සිංහළ කියා ලීවාට සිංහළ ගුරුතුමියගෙන් වරක් බැනුම් ඇසුවාත් මතකයි!
මේ වදනට රූ දෙකක් ආවේ කෙසේ ද? නිවැරදි කිමෙක් ද? විමසන්නට යි මේ වියුණු සටහන෴
රටකට බසකට නම සැදෙන්නේ ඒ රටේ රැස නිසාවෙන්෴ (ස්පාඤ්ඤය - දෙස, ස්පාඤ්ඤ - බස, ස්පාඤ්ඤ - රැස සලකා බලන්න෴) අතීතයේ සිරි ලකට කීවේත් සිංහළය කියා෴ එහි දිවි ගෙවූවන් සිංහළුන් ද, ඔවුන් දෙඩූ බස සිංහළය ද, වූ වා෴
දැන් බලමු සිංහළය කියන වදනේ පිරිනමුව:
හෙළ කියන්නේ මුල්(ප්‍රකෘති) කියන වදනට සම අරුත් ඇති පදයක්෴ මිනිසෙකුගේ මුල් සොබාව(ඉපදුණු හැටි) තමා හෙළුව කියල කියන්නේ෴ මේ වගේම මෙ රටේ ඈත අතීතයේ දිවි ගෙවූ මුල් මිනිසුන් හැඳින්වූයේ හෙළයින්
මේ හෙළයින් කොටස් හතරක් සිටියා:
යක්
නා
අසුර
රකුස්
මේ කොටස් හතරම පොදුවේ සිවු හෙළයින් කියා හැඳින්වූ වා෴ (පඬු අබා රජුගේ කල සිට එක් එක් ගොතේ නම් වෙනුවට සිවුහෙළයින් යන නම් වැඩියෙන් යෙදූ බව කියැවේ෴)
සිවුහෙළ සිංහළ වූයේ කෙ සේ ද?
1.) සිවුහෙළ යන්න සීහෙළ වූ වා,
ඒ සිවුපද > සීපද වුණා වගේ , සිවුරැස්ස > සීරැස්ස වූ වාක් මෙන්෴
අද සීහෙළයෝ ඇසින් - තෙමෙති යුදෙකැ යන බසින්
සීහෙළ යන්න වහරේ පවතින බවට ඉහත කවි දෙ පදය නිදසුනක්෴
2.)සීහෙළ යන්න සීහළ වූ වා෴
මෙය පර රූ කියන වියරණ විදියට අනුව සිදු වූ දෙයක්෴
නිද: මහෙසුරු > මෙහෙසුරු, ගියහොත්>ගියොහොත්(ගියොත්), බලෙන්>බෙලෙන්
(සීහළ යන්න සීහළට්ඨකථා, සීහළ සංඝ වැනි තන්හි දක්නට ලැබේ෴)
3.)සීහළ යන්නෙහි දිගු සර(ස්වර) කෙටි වීමේ දී බින්දුව එක් වී සිංහළ වූ වා෴
ඒ දු > එයිදු වීමේ දී 'යි' එක් වූවා ක් මෙන්෴ ගීපොල් > ගිංපොල් වූවා ක් මෙන්෴
මේ අනුව සිවුහෙළ යන්න මුල් දන කොටස් සතරක් සිටීම නිසා ලැබුණු බවත්, එතැන් සිට සිවුහෙළ යන්න,
සිවුහෙළ > සීහෙළ > සීහළ > සිංහළ
වූ බවත් බස් සතර(භාෂා ශාස්ත්‍රය) අනුව පැහැදිලි කළෙමි෴
දැන් විමසමු සිංහල යන්න හැදුණේ කෙසේ ද කියා:
සිංහළ යන්න පාළියට හැරවූ විට සීහළ වූ වා (ඉහත සීහළ සංඝ වැනි නිදසුන් දැක්වූ වා)෴ ඒ, පාළියේ දතේ ල-යන්න මෙන්ම මුදුන් ළ-යන්න තිබුණු නිසා෴
එහෙත් එය සකුවට නැඟූ කල, සිංහල වූ වා෴ ඒ, සකුවේ තිබුණේ දතේ ල-යන්න පමණක් නිසා෴ සකුවේ අඩු පාඩුව නිසා සකුවෙන් සිංහ"ල" කියා ලියනු දුටු පර ගැත්තන් එසේ ලියන්නට පටන් ගත්තා පමණක් නොව එය සිංහළ පෙළ පොතේ ඉදිරි පිටටත් දමා ගන්නට සමත් වූ වා෴
විමසමු෴ විමසා නිවැරදි කිමෙක් දැයි වටහා ගනිමු෴
එකතුවක් (2008 - 07 - 25):
හෙළ හවුලේ පඬුවන් හැර අන් අය ද, සිංහළ යන්න යොදා ගත් බවට සිරිමත් ඩී. බී. ජයතිලකයින් ලියූ "සිංහළ සාහිත්‍ය ලිපි" නමැති ගත නිදසුනි. එහි මුල් පිටෙහි සේ රුවක් ලිපිය මැදට එක් කළෙමි.
තව ද, ඉහත තොරතුරු පිළිබඳ නිදනස ගැන සැක අදහස් ලෙස පළ වී තිබුණෙන් ඒ පිළිබඳව ද, යමක් සඳහන් කරමි.
අද සීහෙළයෝ ඇසින් - තෙමෙති යුදෙකැ යන බසින්යන්න කුමරතුඟු මුනිදසුන් ගේ හෙළ මීයැසිය පළමු වන වෙළුමෙන් උපුටා ගන්නා ලදී. අනෙකුත් නිදසුන් වහරෙහි පවතින වදන් ඇසුරෙන් දක්වා ඇත. වදනේ පිරිනමුව පිළිබඳ මුල් අදහස අරීසෙන් අහුබුදුවන් ගේ 'අරුත නිරුත' පොතෙනි.





7 අදහස්:
නිරවුල් බසින් කළ කදිමැ ලිපියෙකි. කියවන්නාට හරවත් දැනුමක් සදන්නෙකි. මේ අවුල ගැනැ කලෙක මම ද මුසුප්පු වීමි. ඓතිහාසික විකසනය අනුවැ ඔබේ දැක්ම නිවැරදි යැ. එහි කිසි පරහක් නැති. එහෙත් අප වදනෙක වියරණ වැට මෙන්මැ එහි භාවිතය ද සැලැකිය යුතු යයි හඟිමි. හෙළ > සිව්හෙළ > සීහෙළ > සිංහළ > සිංහල ආදී ලෙස සිදු වූ විකසනයේ අවසන යම් වරදෙක් තිබුණ ද බසේ යම් සරල වීමක් ද වියැ. ඉන් කිසි අර්ථමය හානියෙක් ද නැති. ඒ සියල්ල නොතැකුව ද අද හෙළ හවුලේ පඬිවරු හැර සියල්ලෝ සිංහල යයි වහරති. නැවත අප සිංහළ යයි ලීව ද වියරණ පාරිශුද්ධිය හැර අන් යමක් ලැබේ ද?
කෙසේ නමුදු මේ ලිපිය ලිවීම මැ මහඟු වැඩෙකි. ඕනෑ ම කෙනෙකුට සිංහළ යයි ලිවිය හැකි ය. එහි කිසි වරදෙක් නැති. මම එසේ නොලීව ද එයට නොගරහමි. හිසැ නමමි.
ගිනි නරියාගෙන් කියවිය නොහැක. text-align:justify සදහන් දෑ
text-align:left ලෙස සකසන්න. එවිට මෙය නිවැරදිව දිස්වේ.
මේ මාතෘකාව අපට බෙහෙවින් වැදගත් වන මාතෘකාවක් කියල කියන්න පුළුවන්. ඒ වගේම හොදට ලියා තිබෙනව.
නාමල්,
සිංහළ යන්න සිංහල වුණේ බසේ නමත් සකුවෙන් ලියන්නට පටන් ගත් පරගැති සිතුවිලි මුල් කරගෙන යි. ඉංග්ලිෂ්වලින් ගත්ත ද, සකුවෙන් ගත්ත ද, පරගැති බව පරගැති බව ම යි. තව ටික කලකින් සිංහළ > සිංහල > සිංහලීස් වෙ යි ද කවුද දන්නෙ?
එහෙම වුණත් අපට සිතේවි එයත් තව සරල වීමක් නේ ද කියල.
ඔබ කියන අයුරින් සිංහළ සිංහල වීමෙන් අර්ථමය හානියක් නැත්තේ ය. එහෙත් ඔබ මෙහි දී යම් දෙයක් අමතක කර ඇත. මුදුන් ළ-යන්න දතේ ල-යන්න බවට නිකම්ම වෙනස් කළ නො හැකි යි. එසේ කළොත් අරුත සහමුලින් ම වෙනස් වේ.
අඩු ගණනේ බසේ නම හෝ සිය බසින් ලියන්නට පටන් ගනිමු. එසේ වෙනස් කළ විට වියරණ පාරිශුද්ධිය ලැබේ. සිංහළෙන් කියතොත් වියරණ පිරිසුදු වේ. ඔව්, වියරණ පිරිසුදු වීම තමා අපට සැලසෙන සෙත. ඒ වගේම වියරණ පිරිසුදු වීම තමා බසකට ලැබිය හැකි උපරිම සෙත. අපේ බසේ නමේත් වියරණ වරදවා ලියන්නේ නම් අනික් වියරණ ගැන කතා කිරීමෙන් පලක් ඇති ද?
ඉන්‍දියාවේ සකුවට අපේ බස යට කරන්නේ ඉන්‍දියාව අපට අහවල් දෙයක් දුන්නාට දැ යි නො දනිමි.
ප.ලි. සිංහළ යන්න සිංහල ලෙසට පත් වීමේ දී සරල වූ බවක් ඔබ කියයි. ඒ සරල බව කුමක් ද? මට නම් එබන්දක් නො පෙනේ. ඔබට අවැසි නම් සිංහල යැයි වැහැරීමට නිසි නිදහස ඇත. කිමද යත් සකු වියරණයට අනුව එහි දොසක් නොමැති නිසා. එහෙත් සිතන්නට ඇත්තේ සකුව යනු හුදෙක් ඉන්‍දීය නිමැවුමක් බවත්, එයට අපේ බස යට කිරීම යනු ද, සුද්දාගේ ඉංග්ලිෂ් බසට අපේ බස යට කරන ඇතැම් නිවේදකයන් කරන්නා වාගේම පරගැති කමෙකි.
හර්ෂණ,
මුලින්ම පැසැසුමට තුති.
මාත් යොදාගන්නේ ෆයර්ෆොක්ස් ම තමයි. එහෙත් මට හොඳින් දිස් වේ. දොස කුමක් දැයි නො දනිමි. ඔබ කී ලෙස අවැසි සැකසුම් කරන්නම්. දැන්වූවාට පින්.
ඔබ පවසන දෑ සමග මට විවාදයකට යාමේ උවමනාවක් නැත. අනෙක මා ඔබ පමණ සිංහල වියරණය දන්නේ ද නැත. ඔබ පුනරුච්චාරණය කරන මතය වඩාත් හොඳින් විමසන කල මා අනුමත කළ එහි එන ඇතැම් දේ නිවැරදි නොවන බව පෙනේ. සීහළ යනු පාලි ය. සිංහල යනු සකුව ය. සිංහළ යනුවෙන් වදනක් නොමැත. එසේ තිබිණි නම් හෙළ හවුලේ පතපොත හැර අන් තැනකින් නිදසුනක් පෙන්වා මා නිවැරැදි කළ මැනවි. එමෙන් ම කිසි ගතෙකින් යමක් උදුරා පාන කල්හි අදාළ කෘති දැක්වීම අප වන් දුහුනන්ට පහසුවෙකි. ඒවා කළ පඬුවන්ට බුහුමනෙකැයි පවසමි.
අප මව් බස එමැ බසින් මැ හැදින්වීමට අවැසි නම් 'හෙළ බස' යනු සුනිසි වහර යයි යෝජනා කරමි.
නාමල්,
ඔබ සමඟ විවාදයකට පැමිණීමට අදහස් නො කළෙමි. සිංහළ යන්න දැන්වත් යොදා ගැනීමේ අවැසි බව දක්වන්නට, දනවන්නට පිළිතුරක් ලීවෙමි.
උපුටා ගත් දේ පිළිබඳ සඳහනක් නො කිරීම ගැන කමන්න. ලිපියේ තිබූ අඩු-පාඩු පෙන්වා දීම ගැන තුති. එම අඩු-පාඩු මකන්නට ලිපියේ අගට එකතුවක් එක් කළෙමි.
ඔබේ පිළිතුරට පිං. මේ වූ කලී අප වහා විමසා නිවැරදි කළ යුතු තනෙකැයි හඟිමි. මගේ මතක සෝදිසියෙන් ලියූ දෑ පොතපත ඇසුරින් විමසා නුදුරේදීම සංහිඳේ ලියා තබමි. මා වැරදි නම් එවරද මරා වහා නිදොස් වෙමි. ජය !!!
Post a Comment