Sunday, April 27, 2008

දරු ඵල ලබන හැටි

මම සතිඅන්ත පුවත් පතක දුටු වෙළෙඳ දැන්වීමක කොටසක තමයි මේදේ කියල දීල තිබුණෙ.. බොහොම අමාරුවෙන් හිනාව නවත්තගන්න හැදුවත් ඒක හරි ගියෙත් නැහැ.. මට පුදුමෙ මේ මිනිස්සු මේව පත්තරවලත් දාන එකනෙ..

ඔන්න එහෙනම් එම කොටස හැමෝටම බලාගන්න මෙතන පල කරන්නම්..

මුලින්ම තිබුණ මෙන්න මෙහෙම..
හැර ගිය පෙම්වතිය පෙම්වතා, බිරිඳ සැමියා දෙපා මුලට ගෙන්වා ගන්න... ඔන්න ඔය විදියට.. හැබැයි අන්තිමට තමයි බළල මල්ලෙන් එළියට පැනල තිබුණෙ..

"දරු ඵල ලබා ගැනීම සඳහා රහසිගතව මා හමුවන්න" :P උප්පැන්නෙට දාන්න කපු මහත්තයගෙ නමත් අහගෙන තමයි එන්න වෙන්නෙ...

Saturday, April 19, 2008

ජයට ගියපු මැරතන් එක

අයියෝ... මැරතන් එකට පැය කාලෙන් කාලට ලිපි ලියන්න වෙලාව මදි වගේ :(
වැඩ නොකරත් බැහැනේ.. ඒ මදිවට කවි මඩුවට සහභාගී වෙන්නත් වුණානෙ!

ඔයින් මෙයින් අන්තිම පැයත් ගෙවෙන්න යන නිසා - අන්තිම ලිපිය කියල හිතෙන ලිපිය දාන්නයි යන්නෙ..

දුකයි තමයි, ඒත් ඉතින් හැම දේකටම අවසානයකුත් තියෙනවනෙ - ඉතින් ඔන්න එහෙනම් සිංහළ බ්ලොග් මැරතන් එකේ අවසානය ලකුණු කරන්නයි යන්නෙ..

කියා ගන්න හදනවා හදනවා, කියාගන්න බැ දුකටම ....

වෙලාව ඉවරවේගෙන එන නිසා ඔන්න කිව්වා "ආයුබෝවන්, ඔබෙන් සමුගනිමි, අදට"

෴෴෴෴෴෴෴෴෴෴෴෴ මැරතන් අවසානය ෴෴෴෴෴෴෴෴෴෴෴෴

නැවතත් මැරතන් එකට එක් වීම

අද දවසේ වැඩ ටික හමාරය.. ඊයේ මග දාලා ගියපු මැරතන් එක ආයිත් එකතු වෙන්නයි හදන්නෙ,

අද උදේ හතයි කාල වෙද්දි ගණං පන්තිය, එතනින් නමය වෙද්දි ඔලිම්පියාඩ් පුහුණු කටයුතු, ඊට පස්සෙ ඔන්න දැන් තමයි ගෙදර ආවෙ... දැන් තව වැඩ ටිකක් ගොඩ ගැහිල - පුළුවන් හැටියට ඒව කරන අතරතුරේම මැරතන් එකේ අන්තිම ටික දුවන්නයි බලාපොරොත්තුව...

උදේ පාන්‍දර

උදේ පාන්‍දරම නැගිට ගත්තේ ගණං පන්තියට යන්න කලින් එක ලිපියක් හරි දාන්න හිතා ගෙන..

මෙන්න ඉතින් දැම්මා

මැරතන් එකෙන් තාවකාලිකව පැන යාම

එක දෙක වෙනකම් ඉන්න හිතාගෙන හිටියත් අකුණු රාජයා ඊට ඉඩ දෙනුයේ නැත..
හෙට උදේ ගණං පන්තියද අයි.ඕ.අයි. පුහුණුවීම්ද ඇති නිසා නැවත හෙට හවස(සමාවන්න අද හවස) හමුවෙමු...
දුකයි තමයි.. ඒත් කරන්න දෙයක් නැහැ

Friday, April 18, 2008

මැදියමට පෙර

මේ රූපවාහිනී වැඩසටහන නම් නෙමේ..

මේක මගේ මැදියමට පෙර බ්ලොග් විකාශය :P

පැය හතරක් එක දිගට වියුණු රචනයේ යෙදුණා - කාලය ගෙවිල යනව දැනුණෙවත් නෑ.. බ්ලොග් මැරතන් එක කොච්චර වටිනවද කියල හිතෙන්නෙ දැන් තමයි.. අන්තර්ජාලයේ සිංහළ අන්තර්ගතයට කොච්චර දේවල් එකතුවෙන්න ඇත්ද? ඒ වගේම වියුණු රචනය(බ්ලොග්කරණය) ගැන ශ්‍රී ලංකාවට - සාමාන්‍ය ජනයාට - දැන ගැනීමටත්, සිංහළ වියුණු රචනය(බ්ලොග්කරණය) ගැන අන්තර්ජාල ප්‍රජාවටත් දැන ගැනීමටත් වටිනා අවස්ථාවක් කියල හඳුන්වන්න පුළුවන්...
මට මෙහෙම හිතුනෙ, අද සිද්ධ වුණු කුඩා සිදුවීමක් නිසා - අට හමාරට විතර (මැරතන් එක බාගෙට දුවන අතරතුරේ) අපේ තාත්තා ඇවිල්ල ඇහුව ඔය බ්ලොග් මැරතන් එජද කියල - මම එකපාරට උඩ ගිහිල්ල ඇහුව කොහොමද දන්නෙ කියල. එතකොට තමයි තාත්ත කිව්වෙ පත්තරේ දැක්ක කියල. මේක ශ්‍රී ලාංකිකයින් අතරට හොඳින් ගිහින් බවට ඒ එක ආරංචියක් - තව මේ වගේ සිද්ධි හුඟක් ඇති. ඒ නිසා ඉරිද වෙද්දි බ්ලොග් කියන එක ලංකාවට "අණ්ඩර දෙමළ" නොවන තත්වයකට පත්වේවි කියල හිතෙනව...

පොඩි විවේකයක් ගන්න හිතුනා

මේ විනාඩි පහළොව මගේ විවේක කාලයයි. දැනටමත් අත හොඳටම රිදේ.. එම නිසා අතේ තෙල් ගා ගැනීමට විවේකයක් අත්‍යාවශ්‍ය වේ.... :P

මල් වඩමේ කතාව

ඊයේ පෙරේදා ප්‍රවෘත්ති වලට අහන්න ලැබුණේ ඉල ඇදෙන කතාවක්, ඒ තමයි එක්සත් ජාතික පක්‍ෂයේ ඉහළ මන්ත්‍රීවරයෙක් වෙන ජෝසප් මයිකල් පෙරේරා මහත්තයා කියපු කතාව..
"පාර්ලිමේන්තුවට මල් වඩමක් ගෙනත් රනිල් වික්‍රමසිංහ මහත්මය ඉස්සරහින් තියපු දවසෙ ඉඳන් මේ වන විට පාර්ලිමේන්තුවෙ මන්ත්‍රීවරු පහක් හදිසි ප්‍රහාර වලින් මියගිය නිසා ඒ පිළිබඳව වහාම සොයා බැලිය යුතුයි" කියන කතාව..

දැන් බලමු අපි මේ කියන්නෙ මොකක් ගැනද කියල,

ජනවාරි පළමුවෙනිද මහේෂ්වරන් මන්ත්‍රීවරයා මියගියා - ඒ වෙඩිතැබීමකින්
ඉන් පසුව ද.මු. දසනායක ඇමතිවරයා - බෝම්බයකින්
ඒවගේම ශ්‍රීපති සූරියආරච්චි මහත්මයා - රිය අනතුරකින්
ඉන්පසු දෙමළ සන්ධානයේ තවත් මන්ත්‍රීවරයෙක් (නම හරියට මතක නැහැ) - මුදා නොගත් ප්‍රදේශයක එල්ල වුණු ප්‍රහාරයක්
අවසානයේ ජෙයරාජ් ප්‍රනාන්‍දුපුල්ලේ ඇමතිවරය - බෝම්බයකින්

බලාගෙන යද්දි විපක්‍ෂයේ සාමාජිකයින් තිදෙනයි, ආණ්ඩු පක්‍ෂයේ සාමාජිකයින් දෙදෙනයි, තමයි මියගිහින් තියෙන්නෙ. ඒ කියන්නෙ මල් වඩම තියපු කණ්ඩායමටත් ඒකෙ සාපය (හෝ පෙරේරා මහත්මයා කියන ආකාරයේ ඕනෑම විදියකින්) එල්ල වෙලා තියෙනව. මාර සාපයක් තමයි. මටනම් හිතන්නෙ මෙහෙම විහිළු කතා කියන එක ඒ මියගියපු මිනිස්සුන්ටත් කරන අගෞරවයක්. මොකද ඒ උදවිය මියගියේ ත්‍රස්තවාදී ප්‍රහාර වලින්. එක අතකින් මේක ත්‍රස්තවාදීන්ගේ ක්‍රියා ආණ්ඩුවට සම්බන්ධකරන්න හදන තුච්ඡ උපායක් වෙන්නත් පුළුවන්... අනුර බණ්ඩාරනායක මහත්මයාගෙ මරණයටත් මේ මල් වඩම සම්බන්ධ කර නොගත්තු එක තමයි පුදුමෙ.

මේ වගේ ප්‍රසිද්ධ දේශපාලකයින්, කුඩා ළමයින්වත් නොකියන ආකාරයේ බොළඳ කතා කීමෙන් වළකිනවානම් එය රටට හොඳ බව කියන්න කැමතියි..

නියම කවියක්

මේ කියන්න හදන්නෙ උපහාසය රැගත් කවියක් පිළිබඳවයි..

කුමරතුඟු මුනිදසුන්ගේ කවි ශික්‍ෂාව පොතේ හාස්‍ය රසයට යොදා ගෙන තිබෙන උදාහරණයත් මෙයයි.

අසා, කියවා නැති සියලු දෙනාගේ රසාස්වාදය උදෙසා එය පල කිරීමට සිතුනා

"
සුරා මතින් ඇදගෙන ගෙල මහළු ලිය
පුරා මුව සිඹී සලෙළෙක් පිලි පිලිය
දිරා ගිය දතක් කටටායෙන් ගිලිය
නුරා හැර ගසා කෙළ රවමින් බැලිය
"

අද කාලයේ මතට තිත ආදී වැඩසටහන් වලට තේමා කරගත්තත් වරදක් නැති කවියක්, මොකද සුරා මතින් ඉද්දි වෙන්න බැරි දෙයක් නෙමෙයි මේක :P

සිත් ගත් ගීයක්

ගයන්ත විසින් ගායනා කරන "සුදු පාට මල් වැටුණු" ගීතය මම ඉතා ආසාවෙන් රස විඳි ගීයක්.

මේ ගීතයේ ඉතා අව්‍යාජ බවක් තියෙනව කියලයි මට නම් දැනෙන්නෙ..

මැරතන් දුවන අතරෙ අහගෙන ඉන්න කියාපු ගීතයක්...
ඉතා සංවේදී, ආයාචනාත්මක ප්‍රේමයක් මේ ගීයෙන් පිළිබිඹු වෙනවයි කියල තමයි මට හිතෙන්නෙ.... ගැමි කම, අහිංසක බව පිරුණු මේ ගීතය, අද දකින්නට ලැබෙන රාගය පුරවා ඇති ගීත අතර ඉතා ආදර්ශවත් බවත් මතක් කරන්න කැමතියි..

සිංහළකම

දැන් කාලෙ සිංහළකම ගැන නැඟී සිටින උදවිය ඉතාම අල්පයි - ඒ තත්වය යටතේ "අසිපත" වියුණේ අද පළවුණු ලිපි සැමට ආදර්ශයක් ලෙසින් මම දකිනවා෴ මෙන්න මේකට තමයි නියම සිංහළකම කියන්නෙ෴ සැමදාමත් තමන් වෙනුවෙන්, අපි වෙනුවෙන්, නැඟී සිටින්න අසිපත ලියන ඔබට (කවුරුන්‍දැයි මම නොදනිමි) ශක්තිය ධෛර්‍යය ලැබේවායි මම ප්‍රාර්ථනා කරනවා! දිගටම ඔබේ ලිපි කියවන්න ආසාවෙන් බලාගෙන ඉන්නවා.

බක් මහ අකුණු

බක් මහ අකුණු ගැන අපේ සංවිධායක මණ්ඩලය දැනගෙන හිටියෙ නැද්ද? - මේ අහන්නෙ දෝෂාරෝපණයට නොවේ - විහිළුවට, ඒ වගේම කම්මැලිකම නිවාගන්න... :P

අකුණු සැරින් සැරේ වැඩි වෙනව අඩුවෙනව - බයේ බෑ - ගිනිපෙනෙල්ලෙන් බැට කාපු මනුස්සය කණාමැදිරියටත් බයයි කිවුව වගේ, මමත් දැන් අකුණු වලට හරි බයයි, ඊයෙ පෙරේද නම් මේ ගාණට අකුණු ගැහුවත් කම්පියුටරේ ටක් ගාල ඔක්කෝම රැහැන් වලින් විසන්ධි කළා - අද මැරතන් එක නිසා ඒකට හිත දෙන්නෙත් නෑ :(

කෝකටත් සජ් ප්‍රොටෙක්ටරයක් ගත්තු නිසා, බය අඩු කරගෙන ඉන්න හිතාගත්ත, ඒත් ඉතින් තාම මැරතන් එක මග නවත්තනවද නැද්ද කියන එක ගැන හරි තීරණයක් ගත්තෙ නෑ...

තේරවිල්ලට පිළිතුරක්

ඇස් දහයකි අට බැල්මකි දෙකක් කනා
පා දසයකි අට පයකින් ගමන් යනා
මෙ පස් දෙනෙකි පා සතරකි සැරි සරනා
මේ සන්නේ තේරූ කෙනෙකුන් හපනා

අලුත් විශියෙ මැරතන් දිවිල්ලකටයි සූදානම - මේ අපි ලියන බ්ලොග් ලිපි, එකිනෙකාගෙ ඒවට පිළිතුරු වශයෙන් වගේ ලිවුවොත් එතන නියම සංවාදයක් ගොඩනැඟේවි නේද?

ඔන්න මගේ උත්තරේ අහගන්න,
හරි උත්තරේ නම් මිනියක් අරගෙන යන පිරිස කියන එකනේ - මේක ටිකක් අපේ රටට සම්බන්ධ කරන්නයි හිතුවේ...

ඇස් (මම මේව ඇමතිවරු ලෙසට ගන්නම්) එන්න එන්න වැඩිවේ - එහෙත් සීයට අනූවක්ම කන ඇස් වැනිය - වැඩක් නැත..
මුදල් පා වැනිය - කෙතරම් තිබුණත් අවශ්‍ය දෙයට පාවිච්චි නොකරයි.
බොහෝ පාලකයෝ සිටිති, එහෙත් වැඩි දෙනෙක්ගේ වැඩේ සැරි සැරීම පමණි (පිටරට සංචාර)

බලාගෙන ගියාම ශ්‍රී ලාංකීය දේශපාලනයත් නිකන් මිනියක් අරගෙන යනව හා සමානයි නේද?

තවත් හදිසියෙන් ලියවෙන සටහනක්

මැරතන් දුවනව කියන්නෙ ලේසි වැඩක් නෙමෙයි, හති දාගෙන දුවන්න ඕනෙනෙ, මේ විනාඩි පහළොව ඉවර වෙන්න තියෙන්නෙ තව විනාඩි පහයි...

ඉතින් ඉක්මන් අඩි තිය තිය දුවන්න වෙනවනෙ.. ඉංග්‍රීසියෙන් ලියන කොට ගහනව වගේ යතුරු පහරවල් දෙගුණයක් විතර එක අකුරකට ගහන්න ඕනෙ නිසා වෙලාව යනවත් වැඩියි, ඒ මදිවට අතත් රිදෙනවා.... :(

මේක ඇත්තටම හරිම ප්‍රශ්නයක්, සිංහළෙන් යතුරුකරණය - ඒත් ඉතින් දැන් හුඟක් දියුණු වෙලා තියෙනව, ඒ ගැන සතුටු වෙන ගමන් මේ සටහනටත් නැවතීමේ තිත තියනව෴

රාත්‍රියේ සිසිලස

තව ඩිංගෙන් මේ විනාඩි පහළොවේ ලිපිය දාන්න අමතක වෙනව!!!

ඉතින් වැඩි වෙලාවකුත් නැති නිසා හිතුන රෑ ගැන ලියන්න...

කලින් තිබුණ රස්නෙ ගතිය අඩුවෙලා.. දැන් නම් සිසිල් මාරුතයක් ඇඟේ හැපෙනව - ඒත් ඉතින් තියෙන ප්‍රශ්නෙ මේත් එක්කම අකුණු රාජයාත් එයිද කියන එක....

මේක ලියන අතරතුරේදිම, වැස්ස වැඩි වුණා - දැන් නම් ටිකක් හයියෙන් වහිනව - හෙඩ්ෆෝන් දෙක දාගෙන සින්‍දු අහ අහ හිටියත්, වැස්සෙ සද්දෙ ඇහෙනව !!

තාම ඒත් ඉතින් රාත්‍රියෙ නියම සුන්‍දරත්වය හරියටම ආවෙ නෑ - මොකද ගෙදර අය තාම අවදියෙන්, ලයිට් දාල.. ලයිට් නිවුවම තමයි හඳ එළිය ගලා ඇවිල්ල, නියම ලස්සන පේන්නෙ... එතකොට නම් හිතෙනව මිනිස්සුන්ගෙ මැදිහත්වීමෙන් තොරව සොබාදහම තියෙන හැටි කොච්චර ලස්සනද, හොඳද කියල... ඒත් ඉතින් එතකොට කම්පියුටරුත් නැතිවෙන නිසා ඒ හිතුවිල්ල ඉල්ලා අස්කරගන්නව :P

දන්නෙම නැතුව වෙලාව ගියා

දැන් මැරතන් එකට පැය එකහමාරයි - දන්නෙම නෑ - දැනුණෙ නම් හරි ටික වෙලාවයි ගියේ කියල

අයියෝ, ඒ ගමන් ආකුණුත් ගහනව - ඒත් ඉතින් දිගටම තියේවිද කියල ටික වෙලාවක් බලලම විසන්ධි වීම ගැන හිතල බලනව..

කලින් ලිපිය ටිකක් දිගට ගහපු නිසා දැන් අතත් රිදෙනව, මේ ටිකෙන් නවතින්නම් ෴

මගේ කොණ්ඩෙ

ඉතාමත් දුකින් තමයි මේක ලියන්නෙ, සාපෙළ ඉවර වෙලා තිබුණ මාස පහක විතර කාලෙ තුළ ටික ටික වැවිල තිබුණු කොණ්ඩෙ දැන් කවදා කපන්න වේදෝ කියල මාර දුකින් ඉන්නෙ..
අපේ ඉස්කෝලෙ විනය ගැන වැඩියම වදවෙන්නෙ කොණ්ඩෙ ගැන තමයි - සාපෙළ ඇතුළත්වීමෙ පත්‍රිකා දෙන්න කලිනුත් බැලුවෙ කොණ්ඩෙ වැඩිද නැද්ද කියල - එදා වෙච්ච දුක්බර සිද්ධිය මෙසේ ලියා තබන්න කල්පනා කළේ ලියන්න වෙන මුකුත් හිතට නේන නිසා..

ඉස්කෝලෙ අන්තිම වාරෙ ඉවර වෙන්න තිබුණෙ දවස් තුනයි, උදේ පාන්‍දර එළි වෙනකොටම ඉස්කෝලෙට ගිහින්, එහෙන් මෙහෙන් කට්ටි පැන පැන හිටිය.. අන්තිම දවසත් උදාවුණා, එදා බුදු මැදුරෙ තිබුණ පොඩි පූජාවක්, ඒකට පෝලිම් ගහල යනකොටත් කොණ්ඩ බල බල තමයි යැව්වෙ, ඒකෙනුත් ඔලුව පාත් කරගෙන ගිහින් බේරුණා.
පූජාව ඉවර වුණාම නම් හිතට ආවෙ මාර ජොලියක් - දැන් ඉතින් කොණ්ඩෙ කපන්න වෙන්නෙ තව මාස ගාණකින්නෙ!

මොන, මෙන්න බැලින්නම් බුදුමැදුරෙන් එලියට යද්දි, ප්‍රිෆෙක්ට්ලා දහදෙනෙක් විතරයි, අපේ විනයභාර සර්ත් එක්ක එක්කෙනාගෙ එක්කෙනාගෙ කොණ්ඩ ඇදල බලනව කොච්චර දිගද කියල - මමත් ඉතින් කරන්න දෙයක් නැති කමට පෝලිමේ ගියා - සර් කොණ්ඩෙන් ඇද්ද විතරයි, මාස තුනකට කලින් කපපු කොණ්ඩෙ දිග පෙනුණෙ නැතෑ...
යන්න කිවුව කොණ්ඩෙ කපන්න ඉන්න පෝලිමට - බලද්දි, එතනම ළමයි පනහක් - හැටක් විතර ඉන්නව කොණ්ඩෙ කපන්න අල්ලගත්තු. ඉතින් උදේ අටට විතර කපන්න ගත්තු කොණ්ඩ පෝලිම ඉවර වුණේ හවස එකට විතර - බාබර්ට නම් එදා මාර ජොලි ඇති, එක්කෙනෙක්ගෙ කොණ්ඩෙ කපද්දි රුපියල් අසූවක්ම ගත්ත. ඒත් ඉතින් දැන් ඒකට කමක් නෑ මේ මාස පහට ඇති වෙන්න වැවුණ. :P මට දුක ලබන මාසෙ ඉස්කෝලෙ පටන් ගත්තම කපන්න වෙන එක ගැන :(

මට හිතාගන්න බැරි අනුන්ගෙ කොණ්ඩයක් ගැන වෙන අයට තියෙන ඇඟේ අමාරුව ගැන - ඇත්තටමයි කියන්නෙ සර්ගෙ මූණට කුණුහරුපයක් කියනවට වැඩිය මිනිහට කේන්ති යනව කොණ්ඩෙ ටිකක් වැවුණම, අපේ රටේ වැඩි හරියක් දෙනා බාහිරින් මිනිස්සුන්ව මනින එක නවත්තන්නෙ කවද්ද කියල ඉතින් මාත් බලන් ඉන්නව!!

ක්‍රොඒෂියානු ගීත

අද මැරතන් එක දුවන ගමන් මම නම් කරන්නෙ සින්‍දු අහන එක.. ටීවී සීරීස් ටිකක් බලන්න ඕනෙ ඒව තිබුණත්, බ්ලොග් ලියන ගමන් බලන එක අමාරුයි වගේ, ඒ නිසා ඉතින් සින්‍දු තමයි මට ඉතුරු වුණේ

මේ අහන ගමන් තමයි මට හිතුණෙ, නිදිමත යන්න නියම ක්‍රොඒෂියානු ගීත වඩයක් මං ගාව තියෙනව කියල :D
නැගල යන සිංදු ටික. මම ආස ගීතයක් තමයි "වෑන් ඉස් ග්‍රාදා" කියන සිංදුව(මේක බෙල්ෆාස්ට් ෆුඩ්ලගෙ), ඒ වගේම "පුස්ටින්යේ" කියන ගීතය(ෆ්ලෙයාගෙ), ක්‍රොඒෂියානු ගීත රසිකයින් තවත් ඉන්නව නම් ඉක්මනට කතා කරන්න :D

මදුරුවෝ කෑම

රෑට රෑට එන මහා කරදරයක් තමයි, මදුරුවෝ කෑම.

මහා වදයක්! කවුද හිතුවෙ මදුරුවො තලතලා මැරතන් දුවන්න වේවිද කියල...
මට නම් දැන් කරන්න වෙලා තියෙන්නෙ ඒක තමයි...
ඒ මදිවට මාර රස්නෙ, දාඩියත් පෙරාගෙන ඉන්න තමයි වෙලා තියෙන්නෙ, මෙන්න මේ වෙලාවට තමයි හිතෙන්නෙ අකුණු නොගහ හෙමීට පොඩි හිරි පොද වැස්සක් වැටුණ නම් කොයි තරම් අගේද කියල :P

වැඩිය මේ ගැන ලියන්න කරුණුත් නෑ (ඇයි මදුරුව හරිම පොඩි සතෙක්නේ) , වෙලාවත් නෑ

එහෙනම්, ඔන්න හතරවෙනි ලිපියටත් නැවතීමේ තිත තිවුව෴ (දැන් දුවල ගිහින් කොහෙන් හරි ෆෑන් එකක් උස්සගෙන එන්න ඕනෙ.)

අද දවස ගතවුණ හැටි..

වෙන ලියන්න දෙයක් ඔලුවට එන්නෙම නැති නිසා, මගේ අද දවස ගතවෙච්ච හැටි ගැන ලියන්න හිතුනා..

උදේ පාන්‍දරම - පාන්‍දර කිවුවට අට හමාරට විතර - නැගිට්ටා... මගේ වැඩ ටික ඉවර කරල, මල්ලිට කම්පියුටරේ දෙන්න හිතාගෙන, මොකද එතකොට එයාව රෑ අට වෙද්දි එලවගන්න පුළුවන්නේ :P
ඒත් බැලින්නම් මේ යෝදය ඊයෙ රෑ දෙක වෙනකම් ඇහැරගෙන ඉඳල, ඉතින් මාත් මිනිහ නැගිටපු ගමන් - දවල් එකට - කම්පියුටරේ බාර දීල කිව්ව මට රෑ හතහමාර වෙනකොට අනිවාර්‍යයෙන්ම ඕනෙ කියල,
ඉතින් එහෙම කියල පොඩි නින්‍දක් දාන්න හිතුවට ඒක හරි ගියෙත් නැහැ, ඉතින් රූපවාහිනියෙ ගියපු volcano කියන චිත්‍ර පටිය බැලුව - ඒක නම් ටිකක් හොඳයි. ඊට පස්සෙ පොඩි නින්‍දක් ගියා, හයහමාරට විතර නැගිටගෙන මැරතන් එක ගැන හිත හිත හිටිය - මෙන්න එක පාරටම අකුණු ගහන්න පටන් ගත්තනෙ!
හොඳ වෙලාවට හත හතයි කාල විතර වෙනකොට නැවතුණා, ඉතින් මලය කම්පියුටර් එක දෙනකම් කියල සිරස ප්‍රවෘත්ති බැලුව - ඇති දෙයක් නෑ රට ගැන කළකිරෙණ එක විතරයි, ඉතින් ඊට පස්සෙ ස්වාධීන රූපවාහිනියෙ ගියපු මොකද්දෝ ටෙලි නාට්‍යයක් දිහා ඔරෝගෙන ඉඳල හරියටම හතයි පනස් හයට, බලෙන් වගේ කම්පියුටරය පැහැර ගත්ත! මෙන්න ඉතින් මම දැන් මැරතන් ලියනවෝ !!

මැරතන් එකට ජයවේවා!

අපි සැවොම පුල පුලා බලා සිටි මොහොත... සිංහළ බ්ලොග් මැරතන් ඉසව්ව ආරම්භ වුණා!!!

මෙන්න දෙවැනි ලිපිය... වැඩි යමක් ලියාගන්න වෙලාව මදි වුණානෙ
කමක් නෑ කමක් නෑ ඔහොම යං :P

හැකි තරමක් ලිපි පල කරමින් , හැකි උපරිමයෙන් මැරතන් එක දිවීම තමයි මගේ අදහස...

යසරුවන් වෙනුවෙන්෴

Thursday, April 17, 2008

හෙණ ගැසීම

පසු ගිය බදාදාව පුදුමාකාර අසුබ දවසකි෴

ගණං පන්තිය තිබුණේ සවස තුනේ සිට පහ වන තෙක්ය. එහෙත් හතර හමාරේ සිට ඇද වැටුණු ගිගුරුම් සහිත ධාරානිපාත වර්ෂා රාජයා නිසා පන්තියේ ගුරුතුමා කියන දේ පවා නෑසිණි. එම නිසා පන්තියද කලින් නවත්වන්නට සිදුවුණි. එහෙත් අපට යන්නට දුන්නේ පහ වූ පසුය :(

එසේ එලියට බැසගත් විට මුහුණ දුන්නේ තවත් ගැටළුවකටය - අපට කුඩ තිබුණේ නැත :O

එබැවින් අම්බානකට නාගෙන බස් නැවතුමට ආවෙමු. තවත් මළ කෙළියකි, බස් නැවතුම ජලයෙන් යටවී ඇත. එතන බස් නවත්තන්නට නොව නැව් නවත්තන්නට සුදුසු බව අපට පෙනුණු බැවින් ඊළඟ නැවතුම කරා පයින් යාමට ඉටා ගතිමු.
එසේ ඇවිදිද්දී තව ගැටළුවකි, පාර දෙපැත්ත කුඩා ඇළ මාර්ග දෙකක් වැනිය. කොයි වෙලේ හෝ "අලි නාවන තඩි වලකට" වැටේවිදෝ තිබූ බිය නිසා පාර මැද ඇති කොන්ක්‍රීට් වේදිකාව දිගේ ආවෙමු. එහෙත් බස් එන පාටක් නැත, බත්තරමුල්ල හන්‍දියෙත් වතුර දාල නිසා වෙන්න ඇති කියල හිතුණු නිසා, ඊළඟ නැවතුම් හතරද පයින්ම යාමට තීරණය කළෙමු.

අකුණු ගහන මහ වැස්සේ පාර මැද "පේමන්ට්" එකේ තෙමි තෙමී තලවතුගොඩට ආ විට දක්නට ලැබුණේ තලවතුගොඩ හන්‍දියද, වතුරෙන් යටවී ඇති බවයි. එතනද දිග වාහන පෝලිමක් හිරවී තිබිණි. කෙසේ හෝ තලවතුගොඩ හන්‍දියේ සිට ගෙදරට ඇති කිලෝමීටරයක පමණ දුරද, පයටම වාරු දී පැමිණි පසු හිතට දැනුණේ මාර "ජොලියකි"; හැමදාම මෙහෙම වැස්සෙ තෙමෙන්න ලැබෙන්නෙත් නැහැනෙ.

තවම කතාවේ දුක උච්ඡතම අවස්ථාව උදා වූයේ නැත. එය උදා වනුයේ රෑ බෝවී, අකුණු අවසන් වූ පසු පරිගණකය ක්‍රියාත්මක කළ විටය. වැඩ නැත! බලද්දී දුරකතන රැහැන ඔස්සේ පැමිණි අකුණු සැරයක් නිසා රවුටරය "පිච්චී" ඇත. සෙළවූ විට ඇතුලේ කෑලි හෙළවෙන හඬද, ඇසුණි :P

මගේ පරිගණකයේ ජාලකරණ(නෙට්ව'ක් කාඩ්) එකක් තිබුණු නිසා එය පමණක් පිච්චී, මවුපුවරුව(මද'බෝඩ් එක) බේරී තිබුණි. නමුත් මල්ලිගේ තිබුණේ පුවරුගත(ඔන්බෝඩ්) ජාලකරණ ද්වාරය(නෙට්ව්'ක් පෝට් එක)ක් නිසා එයද, පිච්චී ඇත. සතියක් පමණ ගතවී නැවත රවුටරයක් හා ජාලකරණ(නෙට්ව'ක්) කාඩ් එකක් ගත්තද, මවුපුවරුව(මද'බෝඩ් එක) තවම ගත්තේ නැත. එබැවින් සතියක් අන්තර්ජාලය නොමැතිව සිටියා මදිවට, දවසින් බාගයක් පමණක් පරිගණකය ළඟ ගත කරන්නටද, මට සිදු වී ඇත.

හෙණයක් නිසා වුණු හෙණයක්!!