වියුණට සටහනක් එකතු කරන්නෙ නැතුව සතියක් විතර ගතවුණා - ඉතින් මේ පන්හිඳ අතට ගන්නට ලෑස්ති වෙන්නේ පසුගිය සතිය ගැන පොඩි විස්තරයක් කරන්න...
සඳුදාමාස හතරක් විතර ගියපු රසායන විද්‍යාව පන්තිය නැවැත්තුවා - හේතුව, ඒ පන්තියේ වෙන්නෙ ලොකු කාල නාස්තියක් කියල හැඟී යාම, ඒ වගේම දුරත් වැඩියි... බම්බලපිටියට දෙක හමාර වෙද්දි යන්න නම් දොළහටවත් ගෙදරින් යන්න ඕනෙ... එතකොට ඉතින් හත වැදෙනව... ඒ ගිහිල්ලත් කාලයෙන් බාගයක් පමණ හිනා යන්නෙ නැති විහිළු (මුලදි හිනා ගියා තමයි, ඒත් දිගින් දිගටම එකම විහිළුව කරද්දි හිනා යනව අඩුයි!) අහගෙන ඉන්න ඕනෙනෙ. ඉතින් සඳුදා ගෙදරටම වෙලා හිටියා... ඊට වැඩිය සැපක් කොයින්ද?
අඟහරුවාදාශ්රී ලංකා ජීනියස් තරඟෙට ගියා ඒ ගැන වැඩි විස්තර
මෙන්න මේ සටහනින් බලා ගන්න පුළුවන්.. ඒත් ඉතින් එද්දි සිදුවුණු සිදුවීම් ගැනත් කියන්න එපෑ.. බොරැල්ලට ආපු 154 බසයෙදි තමයි මේක සිද්ද වුණේ. මේ බස් එකත් නිකන් දැන් දැන් විකුණන්න තියෙන වෙළෙඳ භාණ්ඩ වගේ.. ඒ කියන්නෙ "ටූ ඉන් වන්" ජාතියෙ එකක්...
රියැදුරු මහත්තය තමයි කොන්දොස්තර වැඩෙත් කරන්නෙ :P .. ඒ කියන්නෙ සල්ලි අරං ටිකට් "නො"දෙන එක නෙමෙයි - කෑගහන එක - "ඉස්සරහට යන්න", "පස්සට යන්න" , "උඩට නඟින්න", "ටොරින්ටන් බහින්න", ඒවගේම "ටොරින්ටන් - ඊ ළඟ හෝල්ට් දෙකේම අය මෙතනින් බැහැගන්න - ආයි නවත්තන්නෙ නෑ - පස්සෙ බනින්න එපා" මේ වගේ ඒවත් කිය කිය ඉද්දි තමයි හාමුදුරු නමක් බස් එකට ගොඩ වුණේ..
ඉතින් රියැදුරු මහත්තයත් නිකන් හිටියෙ නැහැ.. "කෝ මේ හාමුදුරුවොන්ට සීට් එක දෙන්න - ඔය දකුණු පැත්තෙ සීට් එක දෙන්න" කියල කෑගහන ගමන් , රියැදුරු අසුන පිටිපස්සෙන් අත දාල එතන වාඩි වෙලා හිටපු කාන්තාවගෙ කකුලට අනින්නත් අමතක කළේ නැහැ...
කොහොමහරි කාන්තාවො දෙන්නෙක් හිටපු අසුනක් නිසා ඒ දෙන්නම නැගිට්ට - මෙන්න හාමුදරුවො අසුන් ගන්නත් කලින් එතන හිටපු "මහත්තයෙක්" පැනල එතන වාඩි වුණා.. කොහොම හරි හාමුදුරුවො ඇවිල්ල වාඩි වෙන්න හදනකොට.. රියැදුරා හයියෙන් කෑගහනව "වම් පැත්තෙන් වාඩි වෙන්න එපා දකුණෙන් වාඩි වෙන්න" කියල.. ඉතින් හාමුදුරුවොත් බොහොම අමාරුවෙන් සෙනඟ අස්සෙන් රිංගල වාඩි වුණයි කියමු...
මෙන්න ආයිත් අර පඬුපුලේ වාඩි වුණා වගේ රියැදුරා ආයිත් කෑ ගහනව - "බලන්න මේ හාමුදුරුවොත් අපිට වද දෙනව - හාමුදුරුවො දන්නෙ නැහැ හාමුදුරුවොන්ට වාඩි වෙන්න තියෙන තැන" - ඔන්න ඔහොම කියල. මම ඉතින් කල්පනා කර කර ආව දකුණු පැත්තෙ ආසන පේළියෙත් දකුණු කොනේම වාඩි වුණේ නැත්නම් රියැදුරාට තියෙන අමාරුව මොකද්ද කියල? මොකෝ ඔලුව උඩ තියාගෙන යන එකකයැ... පාර බලාගෙන - පරිස්සමට වාහනේ එළෙව්වනං ඊට වැඩිය වටිනව නේද?
බදාදාඅදත් උදේ පාන්දරම රසායන විද්‍යා පන්තියට යන්න පිටත් වුණාම බස් එකේදි දැකපු දෙයක් තමයි මේ. මේක කලින් කියපු එකේම අනිත් පැත්ත - සමාජයේ හොඳක් දැකපු තැනක් - මේක දැකල මට අපේ සමාජය ගැන හරියට සන්තෝස හිතුන - තාම යන්තම් හරි එකමුතුව, සමගිය, සිරිත් ආදිය රැකිල තියෙනව නේද කියල.
මම බස් එකට නැග්ගෙ තලවතුගොඩින්.. මට කලින් නැග්ගෙ ගැබිණි මවක්.. බස් එක සෙනඟ පිරිල හිටපු එකක්... ඒත් ඈව දැකපු ගමන් ඉස්සරහම දකුණු පැත්තෙ වාඩිවෙලා හිටපු මහත්මයෙක් ඉක්මණට ආසනය දුන්න. ඔහොම යද්දි ඊළඟ නැවතුමෙන් (ජයවඩනගම) නැග්ග හාමුදුරුනමක්... උන්වහන්සේ නැග්ගම ඉක්මණට අර ඉස්සරහ ආසනේ වාඩිවෙලා හිටපු ගැබිණි මවත්, ඈට එහා පැත්තෙන් වාඩි වෙලා හිටපු කුඩා බිළිඳෙකු වඩා ගත් මවකුත්, ඉක්මණටම නැගී හිටියෙ හාමුදුරුවන් එපා කියද්දිම... ඒත් ඔවුන් දෙදෙන නැගිට්ට දැකපු ගමන් අනිත් පැත්තෙ වාඩි වෙලා හිටපු ආත්තම්මා කෙනෙක් ගැබිණි මවටත් ඊට පිටුපසින් වාඩි වී සිටි අක්ක කෙනෙකු අනික් මවටත් තම ආසන දුන්නා... මේක බලන් හිටපු මට දැනුණෙ අමුතු සන්තෝසයක්.
බ්රහස්පතින්දාඅද ටිකක් උදෙන් නැගිට්ටා - අලුතෙන් හොයා ගත්තු රසායන විද්‍යා පන්තියට යන පළමු දවස අද... ඉතින් කලින් යන්න ඕනෙ නිසා 2:45ට තියෙන පන්තියා 2:15ට විතර ගියා... මගේ පාසලේම අය හුඟක් ඉන්නවා.. ඒ නිසා මග හැරුණු වැඩ ඇත්නම් "අල්ලගන්න" පහසු වේවි :)... ඒ ඇරෙන්න කියන්න තරම් දෙයක් නම් වුණේ නැහැ.