Friday, July 25, 2008

කුමරතුඟු ගුණ සමරමු



අද දින වෙසෙසි දවසෙකි. හෙළයට දිවි දුන් විසි වන සිය වසේ මහ පඬු වූ කුමරතුඟු මුනිදසුන් මෙ ලොව පහළ වී අදට වසර එක සිය විසි එක යි. මේ වෙසෙස් බව නිසා ම ඔහු ගුණ සමරන්නට අද සටහන වෙන් වේ. දෙසට - බසට - රැසට අනගි මෙහෙයක් කළ මේ මහා වියතාණන් ගේ ගුණ අපමණ යි. ඒ ගුණ වනන්නට මා නුසුදුසු යි. එ නිසා කුමරතුඟු ගුණ ගැයෙන මේ ගීය උපුටා දක්වමි. එය කුමරතුඟු නමට මල් දමක් ම වේ වා!

කුමරතුඟුන් ගේ අගේ
දවසැ දවසැ හෙළ දැයේ
ඉර වගේ හඳ වගේ
ජයට පතළ වේ

මගෙ රට මගෙ දැය නිසා
යුද වැද සතුරන් නසා
ම දිවි ගියත් කිම අසා
දැයට පණ පෙවූ

කුමරතුඟුන් ගේ අගේ...

බසේ අවුල් ගැට මුදා
රැසේ ඇළුම් ගෙන බදා
දෙසේ සැබෑ කොට උදා
තෙ රුවනක් මැ වූ

කුමරතුඟුන්ගේ අගේ...

දෙවියකු කීවත් එපා
පිළිගන්නට දෙස් නොපා
එ හඬින් අඩි බිම දපා
හෙළ මොළ මෙළැ වූ

කුමරතුඟුන්ගේ අගේ...

නොයෙක් නොයෙක් දේ බදා
බිඳුණු මෙ දැය බස සදා
එකට එකතු කොට යොදා
හෙළ හවුල් මැවූ

කුමරතුඟුන්ගේ අගේ...

පද: අරීසෙන් අහුබුදු සූරීන්
හඬ: සුනිල් සාන්ත සූරීන්

ඒත් සමඟම කුමරතුඟුන් ගේ උදාර බව පෙන්වන්නට ඔහු ලියූ අනගි කවි කිහිපයක් එක් තැන් කොට දක්වමි. කුමරතුඟුහු දෙස - බස - රැස යන තෙ රුවන ඇදැහූ හ. දෙසට - බසට - රැසට ඉමහත් පෙමක් දැක් වූ හ.
මා දෙස හෙළ දෙස වෙන කිසි දෙසකට
මා බස හෙළ බස වෙන කිසි බසකට
මා රැස හෙළ රැස වෙන කිසි රැසකට
මේ හිස නො නමමි නො නමමි කිසි විට
හේ පිට රටට ගැති කම් කිරීම නො ඉවසුයේ ය.
මෙහි වියූ පිළිය
ඇඟැ නො ලා මැළිය
පිට රටින් විළිය
වැසුමැ නෑ එළිය
සිය රට සැම විට අගය කළේ ය.
අපට කුමට සැප නිකමුන් ලගිනා අර සුර ලොවේ
අපට කුමට ලෙඩට දුකට ඇරුණු දෙරණ දඹ දිවේ
තව ද නොයෙක තැන් ඇති ලොවැ ඉනෙ'කකට ද රිසි නො වේ
සිරි සර ඇති සුව සැප ඇති විසිතුරු ඇති හෙළ දිවේ
හෙළ බසට ඇලුම් කළේ ය.
හෙළ රටැ හෙළ ගෙයි හෙළ ඇඳැ සැතැපෙන
මගෙ මව මට දුනු හෙළ බසැ ගී
මැලැවිලි දුරු කැරැ සැනැසිලි ගෙනැ දිනි
මිහිරි යැ මිහිරි යැ රස අනැඟී
හෙළය රක්නට අනුන් ද යොමු කළේ ය.
රටට දැයට හිත දපා
මඳකට දිවි ලොබ ලොපා
කළ මෙහෙයක් නැති දෙ පා
හෙළයකු දැකුමත් එපා
කුමරතුඟු ගුණ හෙළ මුවග රැව් දේ වා!

Thursday, July 24, 2008

සිංහල ද? සිංහළ ද?

බොහෝ කලක සිට විවාදයට තුඩු දුන් කරුණෙකි෴ පන්ති වාර්තා පොතේ සිංහළ කියා ලීවාට සිංහළ ගුරුතුමියගෙන් වරක් බැනුම් ඇසුවාත් මතකයි!

මේ වදනට රූ දෙකක් ආවේ කෙසේ ද? නිවැරදි කිමෙක් ද? විමසන්නට යි මේ වියුණු සටහන෴

රටකට බසකට නම සැදෙන්නේ ඒ රටේ රැස නිසාවෙන්෴ (ස්පාඤ්ඤය - දෙස, ස්පාඤ්ඤ - බස, ස්පාඤ්ඤ - රැස සලකා බලන්න෴) අතීතයේ සිරි ලකට කීවේත් සිංහළය කියා෴ එහි දිවි ගෙවූවන් සිංහළුන් ද, ඔවුන් දෙඩූ බස සිංහළය ද, වූ වා෴

දැන් බලමු සිංහළය කියන වදනේ පිරිනමුව:

හෙළ කියන්නේ මුල්(ප්‍රකෘති) කියන වදනට සම අරුත් ඇති පදයක්෴ මිනිසෙකුගේ මුල් සොබාව(ඉපදුණු හැටි) තමා හෙළුව කියල කියන්නේ෴ මේ වගේම මෙ රටේ ඈත අතීතයේ දිවි ගෙවූ මුල් මිනිසුන් හැඳින්වූයේ හෙළයින්

මේ හෙළයින් කොටස් හතරක් සිටියා:

  1. යක්

  2. නා

  3. අසුර

  4. රකුස්

මේ කොටස් හතරම පොදුවේ සිවු හෙළයින් කියා හැඳින්වූ වා෴ (පඬු අබා රජුගේ කල සිට එක් එක් ගොතේ නම් වෙනුවට සිවුහෙළයින් යන නම් වැඩියෙන් යෙදූ බව කියැවේ෴)


සිවුහෙළ සිංහළ වූයේ කෙ සේ ද?


1.) සිවුහෙළ යන්න සීහෙළ වූ වා,

ඒ සිවුපද > සීපද වුණා වගේ , සිවුරැස්ස > සීරැස්ස වූ වාක් මෙන්෴

අද සීහෙළයෝ ඇසින් - තෙමෙති යුදෙකැ යන බසින්

සීහෙළ යන්න වහරේ පවතින බවට ඉහත කවි දෙ පදය නිදසුනක්෴


2.)සීහෙළ යන්න සීහළ වූ වා෴

මෙය පර රූ කියන වියරණ විදියට අනුව සිදු වූ දෙයක්෴

නිද: මහෙසුරු > මෙහෙසුරු, ගියහොත්>ගියොහොත්(ගියොත්), බලෙන්>බෙලෙන්

(සීහළ යන්න සීහළට්ඨකථා, සීහළ සංඝ වැනි තන්හි දක්නට ලැබේ෴)


3.)සීහළ යන්නෙහි දිගු සර(ස්වර) කෙටි වීමේ දී බින්දුව එක් වී සිංහළ වූ වා෴

ඒ දු > එයිදු වීමේ දී 'යි' එක් වූවා ක් මෙන්෴ ගීපොල් > ගිංපොල් වූවා ක් මෙන්෴

මේ අනුව සිවුහෙළ යන්න මුල් දන කොටස් සතරක් සිටීම නිසා ලැබුණු බවත්, එතැන් සිට සිවුහෙළ යන්න,

සිවුහෙළ > සීහෙළ > සීහළ > සිංහළ

වූ බවත් බස් සතර(භාෂා ශාස්ත්‍රය) අනුව පැහැදිලි කළෙමි෴


දැන් විමසමු සිංහල යන්න හැදුණේ කෙසේ ද කියා:

සිංහළ යන්න පාළියට හැරවූ විට සීහළ වූ වා (ඉහත සීහළ සංඝ වැනි නිදසුන් දැක්වූ වා)෴ ඒ, පාළියේ දතේ ල-යන්න මෙන්ම මුදුන් ළ-යන්න තිබුණු නිසා෴

එහෙත් එය සකුවට නැඟූ කල, සිංහල වූ වා෴ ඒ, සකුවේ තිබුණේ දතේ ල-යන්න පමණක් නිසා෴ සකුවේ අඩු පාඩුව නිසා සකුවෙන් සිංහ"" කියා ලියනු දුටු පර ගැත්තන් එසේ ලියන්නට පටන් ගත්තා පමණක් නොව එය සිංහළ පෙළ පොතේ ඉදිරි පිටටත් දමා ගන්නට සමත් වූ වා෴


විමසමු෴ විමසා නිවැරදි කිමෙක් දැයි වටහා ගනිමු෴

එකතුවක් (2008 - 07 - 25):

හෙළ හවුලේ පඬුවන් හැර අන් අය ද, සිංහළ යන්න යොදා ගත් බවට සිරිමත් ඩී. බී. ජයතිලකයින් ලියූ "සිංහළ සාහිත්‍ය ලිපි" නමැති ගත නිදසුනි. එහි මුල් පිටෙහි සේ රුවක් ලිපිය මැදට එක් කළෙමි.
තව ද, ඉහත තොරතුරු පිළිබඳ නිදනස ගැන සැක අදහස් ලෙස පළ වී තිබුණෙන් ඒ පිළිබඳව ද, යමක් සඳහන් කරමි.
අද සීහෙළයෝ ඇසින් - තෙමෙති යුදෙකැ යන බසින්
යන්න කුමරතුඟු මුනිදසුන් ගේ හෙළ මීයැසිය පළමු වන වෙළුමෙන් උපුටා ගන්නා ලදී. අනෙකුත් නිදසුන් වහරෙහි පවතින වදන් ඇසුරෙන් දක්වා ඇත. වදනේ පිරිනමුව පිළිබඳ මුල් අදහස අරීසෙන් අහුබුදුවන් ගේ 'අරුත නිරුත' පොතෙනි.

Sunday, July 20, 2008

දා - මුදුන් - දතැගි



ළඟදී මුදුන්-දතැගි බෙය ගැන නොයෙක් වාද විවාද අඩුවක් නොමැතිව දක්නට ලැබිණි. ඉඩ ලද පමණින් යමක් එක් කරන්නටත් අමතක නො කළෙමි.

එසේම, සිහළ බොදු පිරිගණින්නන් වන අපට අමතක නොකළෑකි වැදගත් සිදු වීමක් ඇසළ පුන් පෝ දා සිදු විණි. දන්නෝ දනිති. බෝ සතුන් පෙරුම් දම් පිරූ දා කතා ඇතුළත් පන්සිය පනස් දා ව තුරුදැලට එක් විය.

මේ දෙක අතර සබැඳියාව කෙබඳු ද? සිතා ගන්නට නො හැකි යි. එසේ නො හැකි වූ වා නම් එය වාසනාවකි. එහෙත් අහෝ! අවාසනාවක මහත! පන්සිය පනස් දා පොතේ තුරු දැල් සැකැස්ම මුදුන්-දතැගි බෙය තඹ සතයකටත් මායිම් නො කොට ලියන ලද්දකි.

බොහෝ දෙනාගෙන් ලැබුණු උපදෙස් මත පළමු අපණ්ණක දාවෙහි නමෙහිම තිබුණු වරද නිවැරදි කර ඇත. එහෙත් එහි කතාව කියවාගෙන යාමේ දී වියරණ අමතක කොට ලියූ කුණු හරුප බෙහෙවින් ඇත.

නිදසුන ලෙස දක්වා ඇත්තේ අපණ්ණක දාවෙහි තිබී සමුවුණු වරදෙකි.


...මනුෂ්‍යයන් හා ගොන්ද බත් හා තන කවා මනුෂ්‍යයන් මධ්‍යය යේ...


කවර කුණු හරුපයක් ද? අසන්නට ඇත්තේ එකම පැනයකි, තන කැව්වේ ගොනුන්ට ද? මිනිසුන්ට ද? පෙරුම් පුරන බෝ සත්හු මෙබඳු කැත වැඩක් කරත් ද? මේ වන් කුණු අදහස් මතු වන සේ දා පොත තුරුදැලට එක් කළේ කවු ද? ඔහු මින් යම් විඳීමක් ලැබුවා දෝ සැක ද, මතුවේ.

මිනිසුන් ලියන විට දී මීට වඩා අකුරු විනස ගැන සැලකිලිමත් විය යුත්තේ එබැවිනි. නූගතා තන යන්නෙන් බිම වැවෙන පැළෑටිය යන්න අදහස් වේ යැයි ගනු ඇත. එහෙත් උගතා දනී තනෙහි හා තණෙහි වෙනස. අමාරුවේ වැටෙන්නේ උගතා යි. උගන්නා යි.

මෙහි බරපතල කම දැන් හෝ වැටහෙනු ඇත. දහස් අවුරුදු සුරැකිව තිබූ දා පොත කන්නට වියරණ නො සැලකූ (නො දන්නවා වීමට නො හැක) පඬුවකු සමත් වූ හැටි!

වරදක් ඇතොත් කමත්වා!