අබා - මගේ මතය
අබා නැරඹුවෙමි. රස නො වින්දෙමි. හේතු කිහිපයකි.
බොහෝ රටවල් තමන් නිපදවන ඉතිහාස සිතුවම් පට මඟින් තම ඉතිහාසය අබිමන ලොව හමුවේ පෑමට තැත් කරයි.
එහෙත් අබා හි දක්නට ලැබුණේ මීට හාත්පසින් ම වෙනස් දෙයකි. ඉතා නොදියුණු වනසැරි ජන කොටස් ලෙසින් සිංහළ රැස හඳුන්වා දී ඇත. මෙහි දැක්වෙන ගැමියන්ගෙන් සියයට අනූවක් අමුඩ ගසා ගත් උදවිය යි. කාන්තාවන්ගේ ඇඳුම් ද නොදියුණු කම පිළිබිඹු කරන කැටපත් වැනි යි.
අප සතුව තිබූ අබිමන් සමහරක් මෙම සිතුවම් පට තුළින් දැන හෝ නො දැන හෝ මැකී ඇත්තේ ඒ ලෙසිනි.
මේ සඳහා තවත් පැහැදිලි නිදසුනක් නම්, පඬුවස් දෙව් රජුගේ සිරි යහන් ගැබ, සී මැඳුරු කවුළුව හා රජ මාළිගය යි. රජුගේ යහන් ගැබ පිහිටා ඇත්තේ ගල් ගෙයක් තුළ යි. ගලක් මත මඬුවක් ඇටවූවා වැනි යි. සී මැඳුරු කවුළුව පලංචියක් වැනි යි. රජ මැඳුර උණ බට හා මැටියෙන් තැනූවකි. එහෙත් අවිවාදයෙන් ම පඬු අබා කතාවේ කාලයේ දී මීට වඩා දියුණු ගොඩනැඟිලි සිප්ලකුවක් අප සතුව පැවතිණි. උණ බම්බු හා මැටි යොදා ගෙන එක්-ටැම්-ගෙවල් තැනිය නො හැකි යි. එහෙත් චිත්‍රාව සිර කොට තැබූ විසල් එක් ටැම් ගෙහි නටඹුන් තවමත් පඬුවස් නුවර ඇත.
තවත් හේතුවක් නම් අදාළ නො වන්නා වූ සංකේත යොදා ගැනීම මඟින් අප උරුමයට එල්ල වන සියුම් පහර යි. චිත්තරාජ හිස ගසා දැමීමට ගෙන එන්නේ, අත් වලට දඬු කඳක් දමා, පයට විලංගු දමා යි. දඬු කඳ කර මත තබා ගෙන තිබෙන අයුරු කුරුසයක් කර තබා ගෙන ඒමට සමාන ද? ගැටළුවෙකි. ඒ කෙසේ වෙතත්, හේ දඬු කඳත් කර තබා ගෙන තමන්ව මැරීමට නියමිත කන්ද මතට පැමණීමේ දීම, කාන්තාවන් කිහිප දෙනෙකු හඬා වැලපෙමින්, පැමිණ ඔහුගේ පා වැළඳ-ගනිමින් ඔහු යන මඟ තම කෙස් අතුරා ගෙන සිටීම නම් නරඹන්නන්ගේ සිත් කුකුසින් ඇළලුවා වන්නට ඇත. එසේ ම අංජනම් බලන්නා ද, පිටරට හැදියාවක් පිළිබිඹු නො කරන්නේ ද?
අවසන් හේතුව නම්, මෙහි දක්නට ලැබෙන වනසැරියාවේ අග තැන් පත් පෙම් ජවනිකාව යි. හබරා හා භුම්බකභූතා (නම් කෙසේ සැපයූවේ දැයි නො දනිමි.) යන දෙ දෙනා පෙම් බස් දොඩන්නේ තිරිසනුන් මෙන් ගෙරවීමෙනි, රැවීමෙනි. භුම්බකභූතා සිය පෙම්වතා අමතන්නේ, “උලමෝ”" කියා යි. මෙය කොතෙක් දුරට තාත්විකදැයි, මා නො දන්නේ මා හට ජැක්සන් ඇන්තනි මහතාට තරම් පෙම ගැන අත්දැකීම් නොමැති නිසා යි.
කෙ සේ වෙතත්, නිමැවුම්කරුවාට තම නිමැවුම තමාට රිසියුරු කිරීමට නිදහස තිබේ. එ නිසා එම සිතුවම් පට, මා හට රස විඳිය නො හැක්කක් මිස, සිතුවම් පටයක් ලෙස නරක නිමැවුමක් දැ යි, එක හෙළා කීම අපහසු යි. ඔබත් බලන්න, අදහස් පවසන්න.
ඉහත කී අඩුපාඩු තිබුණ ද, අබා සිතුවම්පට නිසා, ඉතිහස් කතා සිරිලක් තිර මතට ගෙන ඒමට තවත් අය ඉදිරියේ පෙළඹෙනු ඇති. මෙය අබා මඟින් සිදු වූ යහපතකි. ඉතිරියත්...








