Tuesday, May 19, 2009

නිදහස් රටක සිට ලියමි

නිදහසේ උතුම් හැඟීම! එය චමත්කාරජනකයි. ආනන්දනීයයි. පූජනීයයි. ජීවිතයේ පළමු වරට මා ඒ අභිමානවත් අත්දැකීම ඊයේ දින ලැබුවා.





නිදහස් රටක් එකලු කළ හිරු කිරණ අද උදෑසන මා අවදි කළ විට, දෙනෙතට දැනුණු සුවය, නිදහස් රටක් පීරා ආ මඳ නල මා ගතට වෙනදා නොගෙනෙන සුවයක් ගෙන ආ බවක මට දැනුණා. ඔබටත් එය එසේම වන්නට ඇති.

වෙන දා මඟ දෙපස වැයෙන ගී ඇතැම් විට කණට කරදරයක් සේ දැනුණත්, මෙදා මඟ දෙපස දෙදරුම් දෙන දෑ අබිමන් ගී මා දැහැන් ගත කළා. හද ගැස්ම තීව්‍ර කළා. ඔබටත් එය එසේම වන්නට ඇති.

අහස ගුගුරන්නා සේ නැඟි රතිකඤ්ඤා හඬ, සිත් තුළ සතුට දෙගුණ තෙගුණ කළා. මඟ දෙපස එක් රොක් වී සිටි ජනයා නඟන ජය ගොස මුව රැඳි සිනහව පුළුල් කළා. ඔබටත් එය එසේම වන්නට ඇති.

රටේ පුදුමාකාර වෙනසක්! මඟ දෙපස ජාතික ධජ. වාහන වල ජාතික ධජ. පදිකයන් අතත් ජාතික ධජ! තාප්ප පුරා ජනපතිඳුන්ගේ රූප කාය! ඒ සියල්ල මා සොම්නස් කළා. ඔබටත් එය එසේම වන්නට ඇති.

ගෙවූ දින කිහිපය, ලොවටම ශ්‍රී ලංකාවේ වෙනසක් දිස් කළා.

වෙනත් රටවල නායකයින්ට විරුද්ධව පෙළ ගැසෙන ජන ගංගා වෙනුවට සිරිලක් ජනතාව අතිගරු ජනපතිතුමන්ව රජෙකු ලෙස අබිසෙස් කළා. එතුමාත් ලක් පොළොව මත වැඳ වැටුණා. ලක් ඉතිහාසයේ රන් අකුරින් ලියැවෙන පරිච්ඡේද සුළුතරය අතරට මේ කතාවත් එක් වුණා.



ක්‍රි.පූ. 377 දි පඬු අබා රජතුමන්, ක්‍රි.පූ. 161 දී දුටු ගැමුණු මහ රජතුමන්, ක්‍රි.පූ. 89 දී වළගම්බා රජතුමන්, ක්‍රි.ව. 1070 දී මහ විජයබා මහ රජතුමන්, ක්‍රි.ව. 1153 දී මහ පැරකුම්බා මහ රජතුමන්, සහ අවසාන වශයෙන් ක්‍රි.ව. 1449 දී සයවන පැරකුම්බා මහරජතුමන් විසින් කරන ලද ඒ ප්‍රෞඪ කාර්‍ය්‍ය, රට එකසේසත් කිරීම, ක්‍රි.ව. 2009 ක් වූ මැයි මස 18 වන දින, එනම්, ශ්‍රී බුද්ධ වර්‍ෂ ප්‍රමාණයෙන් 2553 ක් වූ වෙසක් මස අව නවවක සඳු දින මහින්ද රාජපක්‍ෂ ජනපතිඳුන් විසින් ඉටු කිරීම ඉහත සඳහන් කළ වෙනස් වීම්වලට හේතු වුණා. ඉතා කළාතුරකින් දකින්නට ලැබෙන රට එක්සේසත් කිරීමක්, එනම් වසර දහස් ගණනක ඉතිහාසයේ, මහාවංශයේ ලියැවී ඇති වසර 2553ක කාලය තුළ සය වතාවක් පමණක් ඉටු කරන ලද කාර්‍ය්‍යක් දැක බලා ගන්නට, ඒ විජයග්‍රහණයේ ප්‍රීතියෙන් ඇලළී යන්නට, අපත් වාසනාවන්ත වුණා.

ජනපතිඳුන් අද උදෑසන ජාතිය අමතා කළ කතාවේ, වසර ගණනකට පසු ලක් දෙරණේ සවනක් නෑර පැතිරුණු ඒ කතාවේ, ඒ අභිමානනීය කතාවේ කොටසක්, මට තේරුණු බසින් කියා, අභිමානවත් වියුණු සටහනක් අවසාන කරමි.

දැන් රට තුළ සිටින්නේ එකම ජාතිය යි. ඒ ශ්‍රී ලාංකික ජාතිය යි. ජාතික කොඩිය යට එකමුතු වන ජාතියයි. දේශ ප්‍රේමීන්ගේ ජාතියයි. එන්න, ඒ ජාතියේ අභිමානවත් පුරවැසියෙක වන්න. සිංහ කොඩිය යට එකට එකතු වෙමු. එකමුතු වෙමු.



ඉතිරියත්...

෴ඇතැම් හිමිකම් ඇවිරිණි෴

෴‍යන එන අය෴

෴කියැවූවන්෴

෴විදුලි තැපැල් සේවය෴

ඔබේ විදුලි ලිපිනය ඇතුළු කරන්න:

FeedBurner

මඟිනි෴

  © පියකරු වියමන් සඳහා සහාය Blogger templates විසිනි. සියලුම හිමිකම් Ourblogtemplates.com සතුයි.

නැවතත් මුදුනට