Friday, July 31, 2009

ගෙමබා සහ මී කුණ

රට තුළ ගුරු වෘත්තිය පිළිබඳ ව යම්කිසි කතා බහක් ඇති වී තිබෙන මොහොතකි. සිසුවියක අවාසනාවන්ත ලෙස දිවියෙන් සමුගැනීම ද, මීට හේතු ව තිබේ. එ වන් විපත් වළක්වා ගැනීමට ගත යුත්තේ තවත් දැඩි වු නීති පැනවීම නොව අදහස් හා සිතුවිලි අතින් සිසුන්ට යහ මග පෙන්වා දීම බව මගේ විශ්වාසය යි.
මා ඇසුරු කළ ගුරුතුමන් දෙ දෙනෙක් ගැන කෙරෙන සැසඳීමක් මතු දැක්වේ. දෙ දෙනා ම සේවයට බොහෝ සෙයින් කැප වූ ගුරුවරු වෙති. එහෙත් අදහස් අතින් බැලූ කල මනෝ විද්‍යාත්මක පරස්පරයන් සේ හැඟේ. යම් කිසි සමාන කමක් ඇති අවස්ථා දෙකක දී දෙ දෙනා ක්‍රියා කළ අයුරු, අධ්‍යාපන මනෝවිද්‍යාවේ වැදගත්කම මතු කරනු ඇති බව මගේ විශ්වාසය යි.


මී කුණෙහි කතාව මෙසේ යි.

එතුමා ආනන්ද විද්‍යාලයේ හිටපු නියෝජ්‍ය විදුහල්පතිතුමෙකි. දිනක් සුපුරුදු පරිදි උදෑසන විදුහල වටා සැරි සැරීමේ දී උසස් පෙළ ගණිත අංශයේ එක් පන්තියක පොඩි පහේ කලබලයක් දුටුවේ ය. විෂය භාර ගුරුතුමිය ද, සිසුහු ද, පන්තියේ දොරකඩ බලා සිටියහ. එතුමා ගුරුතුමියගෙන් එළියට වී සිටින්නේ මන්දැයි විමසුවේ ය. ඇයගෙන් දැනගන්නට ලැබුණේ පන්තිය තුළ මීයෙකු මැරී ඇති බවත්, දුගඳ නිසා ඉගැන්වීම අපහසු බවත් ය. නියෝජ්‍ය විදුහල්පතිතුමන් කුඩා පොලිතින් බෑගයක් ගෙන, අත වටා දවටා, මී කුණ වෙත ගියේ එය ඉවත් කිරීමට යි. ලැජ්ජාවට පත් උසස් පෙළ පන්තියේ සිසුහු, "නෑ නෑ සර් ඉන්න, අපි අස්කරන්නම්" යි කියමින් දිව ආ හ. ආදර්ශයෙන් ම අවවාද දිය යුතු බව එතුමෝ ආදර්ශයෙන් ම පෙන්වා දුන් හ.


ගෙම්බාගේ කතාව මෙසේ යි.

ස්ථානය ආනන්ද විද්‍යාලයේ පරිගණක විද්‍යාගාරය යි. භාර ආචාර්‍ය්‍යතුමාගේ මතකය, විශේෂයෙන් ම සිසුන් ව මතක තබා ගැනීම පිළිබඳ ව වූ මතකය, දරුණු ලෙස කෙටි කාලීන වූ එකක් විය. එය එ සේ වීමට හේතුව ඔහු සිසුන් ව නො වැදගත් ලෙස සලකන නිසා විය යුතු යැ යි මට හැඟේ. ගිය සතියේ එක් දිනෙක, විවේක කාලයේ දී, විද්‍යාගාරයට පැමිණි මල්ලි කෙනෙකුට ඔහු කතා කළේ මෙසේ යි. "ඒයි ගෙම්බා, කොහෙද ඔය යන්නේ?". ඒ මල්ලි තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ සංගමයේ නොයෙක් වැඩ සඳහා නොමඳ සහයක් දුන් අයෙකු බව ගුරුතුමාට අමතක ය.

එ දින සවස් වරුවේ මා එතුමා හමුවීමට ගියේ, ඒ කතා කළ විලාසය මා සිත් නො ගත් බැවිනි. නැවතත් සිසුන්ට සතුන්ගේ නම් කියා නො අමතන ලෙස ඉල්ලා සිටියෙමි. ඔහු කීවේ ඒ විහිළුවක් බවත් තමන් කරන විහිළු කොල්ලන්ට නොතේරෙන බවත් ය. මා නැවතත්, විහිළුවට හෝ ගෙම්බා යැයි ඇමතුම් ලැබීමට කැමැති කවුරුන් දැයි ප්‍රශ්න කර, සෑම සිසුවෙකුට ම නමක් තිබෙනවා නො වේ දැ යි ඇසූ විට, ඔහු ඊට එකඟ විය.

විද්‍යාගාරයෙන් පිටත් ව පාසල් දොරටුව කරා එන ගමනේ දී, පාර අයිනේ වැටී තිබුණු පොලිතීන් කවරයකි. මඳක් ඈතින් යම් කිසි ක්‍රීඩාවක නිරතව සිටි සිසුන් පිරිසකි. ගුරුතුමා හඬ අවදි කළේ ය. "ඒයි කොල්ලා මෙහෙ වරෙං. මේක ගිහින් දාපං". සිසුවෙකු ද, නො පිළිපැදිය නො හැකි නිසා එය ඇහින්දේ ය. මා නැවතත් හඬ අවදි කළෙමි. "ඇයි සර් එහෙම කිව්වෙ. පුතේ කියල කියන්න තිබුණනෙ". මට ලැබුණේ කදිම පිළිතුරකි. "දැක්කද ඒක අහුලගත්ත හැටි. කොල්ලන්ගෙ තියෙන මාන්නෙ". නිවෙසට ඒමට පමා වන නිසා මුකුත් නො කියා සිටියෙමි.


සිසුන්ට යහ මඟ කියා දිය යුතු අයුරු තම තමන් තේරුම් ගෙන සිටි අයුරු, සහ අධ්‍යාපන මනෝ විද්‍යාව පිළිබඳ ව ඔවුන් තුළ වූ වෙනස් ආකාරයේ වැටහීම් මින් පිළිබිඹු වේ.

අප රටේ අධ්‍යාපනය ඉතා ම අවාසනාවන්ත කාල පරාසයක් ගත කරමින් පවතින මොහොතක, එය නඟා සිටුවීම සඳහා මෙවන් සුළු සුළු දේ ගැන විමසිලිමත් වීම වැදගත් වනු ඇත.

ඉතිරියත්...

෴ඇතැම් හිමිකම් ඇවිරිණි෴

෴‍යන එන අය෴

෴කියැවූවන්෴

෴විදුලි තැපැල් සේවය෴

ඔබේ විදුලි ලිපිනය ඇතුළු කරන්න:

FeedBurner

මඟිනි෴

  © පියකරු වියමන් සඳහා සහාය Blogger templates විසිනි. සියලුම හිමිකම් Ourblogtemplates.com සතුයි.

නැවතත් මුදුනට